Sunday, August 24, 2014

Net නැතුව Net යමු - Offline Mode

අපේ ගොඩක් අය අන්තර්ජාලෙට යන්නෙ දත්ත පැකේජ වලින්නෙ.. පැකේජයේ දත්ත ඉවර උනාම වැඩේ හමාරයි (සමහරු නම් අසීමිත පැකේජ (unlimited packages) පාවිච්චි කරන්නෙ, ඒ වුණත් සීමාව පැනලා සම්බන්ධතාවෙ වේගය අඩු වුණාම සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක් වෙනවනෙ...)

ඉතින් ඔන්න ඔහොම දත්ත ඉවර වෙලා තියෙද්දි, හදිස්සියෙම ඔයා ඊයෙ පෙරේදා වගේ ගිය වෙබ් පිටුවකට ආයෙ යන්න ඕනි වුණොත් මොකද කරන්නෙ? දුවලා දුවලා කඩේට ගිහින් රීලෝඩ්  (reload) එකක් දාගෙන අලුත් පැකේජයක් දාගන්නවද? යාලුවෙකුගෙ සම්බන්ධතාවකින් ජාලයට යනවද? ඕනි මගුලක් වෙන්න කියල සීමාව බලන් නැතුව ආයෙත් ජාලයට සම්බන්ධ වෙනවද? නැත්තං "ෂික්, මටමයි වෙන්නෙ" කියල වැඩේ අතෑරල දානවද?

ගොඩක් වෙලාවට, ඔයාට ඔය මුකුත් කරන්නෙ නැතුව, බොහොම සරල විදිහට (ජාල සම්බන්ධයක් (net connection) නැතුව!) අර කියපු පිටුව බලාගන්න පුලුවන්!

කොහොමද එ්?... ඕෆ්ලයින් මෝඩ් (offline mode) එකෙන්!

  • Firefox නම් File > Work Offline (File මෙනුව ගන්න Alt+F ඔබන්න; නැත්නම් තැඹිලි පාට Firefox button එක ඔබලා Web Developer > Work Offline යන්න.
  • IE (Internet Explorer) ත් එ් විදිහමයි.
  • Opera නම් ප්‍රධාන මෙනුවේ එකේ Settings > Offline Mode යන්න (වැඩි විස්තර මෙතන තියෙනවා).
  • Chrome නම්... සමා වන්න, ඔබේ බ්‍රවුසරයේ offline mode එකක් නැත. :(

උඩ කියපු විදිහට offline mode සක්‍රිය කළාට පස්සෙ, ඔයාගෙ බ්‍රවුසරයේ ඉතිහාසයට (history) එකට ගිහින්, මීට කලින් ඔයා ගිහින් තියෙන පිටුවලට යන්න පුළුවන්. ජාල සම්බන්ධයක් ඕනැම නෑ! (හැබැයි සමහර පිටුවලට යන්න බැරි වෙයි, විශේෂයෙන් ම නිතර වෙනස් වෙන පිටුවලට; Gmail, Facebook, Twitter වගේ... Wikipedia, eBay වගේ අඩවිවලට නම් මේක හොඳට ම වැඩ කරනවා!)

පුදුම වැඩක්නෙ... මේක වෙන්නෙ කොහොමද?

මේකෙදි වෙන්නෙ, ඔයාගෙ බ්‍රවුසරයේ කෑෂ් (cache) එකේ තියෙන වෙබ් පිටු සහ අනෙක් දත්ත (රූප (images), විසිතුරුකරණ ගොනු (stylesheets), කේත ගොනු (scripts) වගේ ඒවා) අලුතින් ජාලයෙන් බාගත (download) කරන්නෙ නැතුව නැවත පෙන්නන එකයි. (Cache කියන්නෙ මෑතදී හරි නිතරම හරි ඔයා ගිය හෝ යන වෙබ් පිටුවලට අදාල දත්ත මතක තියාගෙන ඉන්න කොටසක්.)

සමහර පිටුවලට මේක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?

Gmail වගේ අඩවියක් ගත්තොත්, ඊයෙ තිබුණ තත්ත්වයට වඩා අද තත්ත්වය හාත්පසින් ම වෙනස් වෙන්න පුළුවන්; එහෙම වෙබ් පිටුවක් මතකයේ තියාගන්න එක තේරුමක් නැති නිසා, ඒ පිටුව කෙටි කාලයක් ඇතුළත කල් ඉකුත් වෙන (expire) විදිහට සකස් කරල තියෙන්නෙ. යම් පිටුවක් කල් ඉකුත් වුණ ගමන් බ්‍රවුසරයේ කෑෂ් මතකයෙන් ඒ පිටුව ඉවත් වෙනවා. (ඕනිම පිටුවකට මෙහෙම වෙන්න පුළුවන්, හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් පිටුවල මේ කල් ඉකුත් වීමේ කාලය ගොඩක් දිගයි; ඒ නිසා පිටුව ගොඩක් කල් කෑෂ් මතකයේ තියෙනවා.)

මේ ක්‍රමය ඔයාලට ජාල සම්බන්ධයක් නැති වෙලාවට විතරක් නෙවෙයි, ඕනි ම වෙලාවක යොදා ගන්න පුළුවන්.

උදාහරණයක් ගත්තොත්, හදිසියෙ වැරදිලා බ්‍රවුසරයේ ටැබ් එකක් වැහුණොත් (close වුණොත්) offline mode සක්‍රිය කරල ඒ ටැබ් එක ආයෙ විවෘත කරගන්න පුළුවන්.

පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ, වැරදිලාවත් බ්‍රවුසරය දෝෂයක් නිසා වැහුණොත් (ඒ කියන්නෙ ක්‍රෑෂ් (crash) වුණොත්) හරි බලහත්කාරයෙන් වැහුණොත් හරි (උදා.: බ්‍රවුසරය විවෘත ව තියෙද්දි මෙහෙයුම් පද්ධතිය අක්‍රිය කළොත්) කෑෂ් මතකයේ තියෙන සේරම දේවල් මැකෙනවා. ඒක නිසා මෙහෙයුම් පද්ධතිය අක්‍රිය කරන්න කලින් බ්‍රවුසරය වහන්න මතක තියා ගන්න.