Saturday, March 14, 2015

මෙගාබයිට් 100න් මාසයක් ගොඩ දාන හැටි | 100MB Survival Tips & Tricks - Part 1

දැන් කස්ටියට නොමිලේ වයි-ෆයි (Wi-Fi) ලැබන්නනෙ යන්නෙ නේද? හැබැයි ඉතිං මාසෙට 100MB තමයි දෙනවයි කියල තියෙන්නෙ. ආරංචිය අහපු ගමං ගොඩක් අය කිවුවෙ "අයියෝ දෙතුන් පාරක් ෆේස්බුක් ගිහිං ආවම ඕක ඉවරයිනෙ" කියල. තව සමහරු නොමිලේ වයි-ෆයි වැඩසටහන පාච්චල් කරලත් කතා කළා. මේව අහද්දි තමයි මාතෘකාව ගැන පොඩි සද්දයක් දාන්න හිතුණෙ.

"හිත ඇත්නම් පත කුඩා ද" කියනව වගේ, උවමනාව තියෙනව නම් මෙගාබයිට් 100න් මාසයක් ගොඩ දාන එකත් ගේමක් නෙවෙයි. දවසකට 3.225MB - 3.571MB අතර ප්‍රමාණයක් තියෙනවනෙ! දත්ත ඉතුරු කරන කලාව දන්නව නම් වැඩේ සෑහෙන සරලයි. පොඩි කැපකිරීම් ටිකක් කරන්න සිද්ද උණත් වැඩි අවුලක් නැතුව එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන්.

දත්ත ඉතුරු කිරීම ගැන මම දන්න කරුණු ටිකක් කියල දාන්නම්. තව හොඳ ක්‍රම දන්න අය ඉන්නව නම් යටින් කොමෙන්ටු (comments) යොදල අපිත් එක්ක බෙදා ගන්න හොඳේ! මම පුළුවන් විදිහට එ්වත් මේ ලිපියට ම ඇතුළු කරන්නම්.

  • පිටු සලකුණු (page bookmarks) භාවිතයට හුරු වෙන්න.
  • මම ගොඩක් වෙලාවට දැකල තියෙනව, කට්ටිය Facebook ගියත් යන්නෙ "facebook" කියල සෙවුම් යන්ත්‍රයක ගහල (කොටින් ම කිව්වොත් facebook කියල google කරල) ලැබෙන ලින්කුවෙන්. මේක සෑහෙන අපරාදයක්. ඕකෙ අගට ".com" කියල දාල ලිපින තීරයෙ (address bar) ම ගැහුවනම් එක පාරින් ගොඩනෙ! (මුලට "m." කියලත් දැම්මනම් තවත් ගොඩ!)

    හැබැයි ඊටත් වඩා ලේසියි https://m.facebook.com/home.php?refid=12 වගේ සම්පූර්ණ ලිපිනය ම පිටු සලකුණක (page bookmark) තියාගෙන හිටියොත්. එතකොට පිටුවට යද්දි සිද්ද වෙන හැරවුම් (redirections) ගාණත් අඩු වෙනව; වෙලාවත්, දත්තත් ඉතුරුත් වෙනව. දැන් හැම බ්‍රවුසරය ම වගේ සලකුණු ගබඩා කරන්න, ඛාණ්ඩගත කරන්න වගේ ම වෙනත් මෘදුකාංග, ගිණුම් (උදා. Google Accounts) හා උපකරණ එක්ක හුවමාරු කරන්නත් පහසුකම් සලසල දෙනව.

  • ඉතිහාසයෙන් (history) ප්‍රයෝජන ගන්න.
  • ඔයා බ්‍රවුසරය දාගත්ත දා ඉඳන් ගිය පිටු ඔක්කොගෙම වගේ ලිපින (URLs) බ්‍රවුසරය මතක තියාගෙන ඉන්නව (අමතක කරන්න කියල අමුතුවෙන් කිවුවෙ නැත්තම්). බ්‍රවුසරයෙ ලිපින තීරයෙ හරි, බ්‍රවුසරයෙ Search History අංශයෙ හරි "facebook" කියල යතුරු කළොත් Facebook තුළ ඔයා ගිය පිටුවල ලිපින ලයිස්තුවක් එනව; දිගට ම "facebook.com/mes" වගේ යතුරු කරගෙන ගියොත් ඔයා ගිය Facebook Messages පිටු ටික බලා ගන්න පුළුවන්. ඕනි ම වෙලාවක මේ ලින්කුවක් තෝරල කෙළින් ම ඒ පිටුවට යන්න පුළුවන් (ගිණුමෙන් ඉවත් (log out) වෙලා හරි ආරක්ෂණ (security) ප්‍රශ්නයක් හරි නැත්තම්). Chrome වල මේක මීටත් වඩා දියුණු හා පහසු කරල තියෙනව කියලත් ආරංචියි.

  • Offline Mode පාවිච්චි කරන්න.
  • අපි නිතර යන (හරියට කිව්වොත්, ළඟදි එක පාරක් හරි ගිය අඩවිවල දත්ත (HTML, JavaScript, CSS) බ්‍රවුසරය මතක තිය‍ා ගන්නව. අඩවිය නිතර වෙනස් නොවෙන (static) එකක් නම් (උදා. Wikipedia, Stack Exchange අඩවිවල පිටු (කරුණු ලොකුවට වෙනස් වෙන්නෙ කලාතුරකින්), Google Search (Doodle එක හැර)) offline mode ක්‍රියාත්මක කරල ජාල සම්බන්ධයක් නැතුව වුණත් අපි කලින් බලල තියෙන පිටු ආයෙ බලන්න පුළුවන්. එක ම ටැබයක පිටු ගණනාවක් විවෘත වුණොත් සාමාන්‍යයෙන් offline mode සක්‍රිය කරල ඒ පිටු අතර ඉස්සරහට, පස්සට යන්නත් පුළුවන්. (වැඩි විස්තර මෙතනින්)

    ඒ වගේ ම බ්ලොග්, බාගත අඩවි වගේ දැන්වීම්, වීඩියෝ වගේ අනවශ්‍ය කොටස් බහුල ව තියෙන අඩවි බාගත වෙන අතරෙ offline mode සක්‍රිය ක‍ළොත් ඒ අනවශ්‍ය කොටස් බාගත වෙන එක නවත්වල ඕනැ කරන ටික විතරක් බලාගන්න පුළුවන්. බැරි වෙලාවත් වැරදි පිටුවකට යන්න හරි, වෙන මොකක් හරි වැරදි දෙයක් සිද්ද වෙන්න හරි ගියොත් ටක් ගාල offline mode සක්‍රිය කරල ඒක වලක්වගන්නත් පුළුවන්. (මේ විදිහට ටක් ගාල offline mode සක්‍රි කර ගන්න, ඕනි නම් පොඩි කෙටි මං යතුරක් (shortcut key) හදා ගන්නත් පුළුවන්; ඒ ගැනත් පස්සෙ වෙලාවක කියන්න බලන්නම්කො!)

    ඒ විතරක් නෙවෙයි, Gmail, Facebook, Twitter, LinkedIn වගේ වෙනස් වෙන (dynamic) අඩවිවල සමහර කොටස් වුණත් offline mode යොදාගෙන දත්ත නැතුව ලබාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට, Gmail විවෘත කරල මුළු පිටුව ම ස්ථාවර වුණාට පස්සෙ offline mode ඉවත් කරල පිටුව ඇතුළෙ සෙවුම් තීරය ළඟ තියෙන Refresh බොත්තම (බ්‍රවුසරයෙ Reload බොත්තම නොවේ!) එබුවොත් අලුත් ඉ-මේල් බලාගන්න, ඒවට උත්තර ලියන්න පුළුවන්. ඒ විදිහ‍ට ම සංවාද (Chat) කොටසෙ Refresh බොත්තම ඔබල ඒකත් ආයෙ පණ ගන්වගන්න පුළුවන්. (Facebook එකෙත් මේ වැඩේ පුළුවන්, හැබැයි Chat අංගය ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියෙනව.)

    තව සමහර අඩවිවල (උදා. Sheets, Docs, Calendar, Apps Script වගේ Google Drive හා Apps ගොනුවල) මූලික ව්‍යුහය සකස් වුණාට පස්සෙ offline mode ඉවත් කළොත් අඩවියෙ ඉතුරු ටික (සාමාන්‍යයෙන් විචල්‍ය (dynamic) කොටස්) බොහොම අඩු දත්ත ප්‍රමාණයකින් බාගත වෙනව. එතන ඉඳන් අඩවිය සාමාන්‍ය විදිහට වැඩ කරනව. මේකට, හරියට ම offline mode ඉවත් කරන තැන ගැන හොඳ හුරුවක් තියෙන්න ඕනි; හැබැයි පුරුදු වුණාම හරි ලේසියි.

  • ජංගම අඩවි (mobile sites) භාවිතා කරන්න.
  • මම හිතන හැටියට මේක තමයි සුපිරි ම විසඳුම. ගොඩක් වෙලාවට, මෙගාබයිට් ගණන් ඕනි වෙන අඩවි මේ ක්‍රමයට කිලෝබයිට් ගාණෙන් ගොඩ දාගන්න පුළුවන්; හොඳ ම උදාහරණ තමයි Facebook සහ Gmail. හොඳ ජංගම අඩවි ලයිස්තුවකුත් එකක් වැඩි විස්තර මෙතන තියෙනව.

  • බ්‍රවුසරය පිටින් ම ජංගම තත්ත්වයට ගන්න. User-Agent මාරු කරන්න.
  • මේ වැඩේ කළාම අපි සම්බන්ධ වෙන අඩවියට අපිව පේන්නෙ සාමාන්‍ය (desktop) පරිගණකයක් හැටියට නෙවෙයි, ජංගමයක් (mobile device) හැටියට. කරන හැටි මෙතන තියෙනව.

    ගොඩක් අඩවි දැන් ජංගමවලට දෙන්නෙ ජංගම හිතකාමී (mobile friendly) දසුනක්. හැබැයි ඇත්තට ම ඒකෙන් සමහර අඩවිවල දත්ත භාවිතය කලින්ටත් වඩා වැඩි වෙන්නත් ඉඩ තියෙනව (උදා. Facebook හා Gmail අඩවිවල User-Agent මාරු කළාම ලැබෙන දසුන, කළින් කියපු විදිහට කෙළින් ම ජංගම අඩවියට ගියාම ලැබෙන දසුනට වඩා දත්ත භාවිතය අතින් වැඩියි.); හැබැයි එහෙම වෙන්නෙ කලාතුරකින්. කොහොමත්, අලුත් අඩවියක් නම් සාමාන්‍ය ක්‍රමයයි, ජංගම දසුනයි, මේ ක්‍රමයෙන් ලැබ‍ෙන දසුනයි සසඳල බලන එක තමයි හොඳ ම වැඩේ.

කතාව දිග වැඩියි වගේ නිසා පළමු කොටස මෙතනින් සමාප්තයි; කම්මැලි නැත්නම් දෙවෙනි කොටසත් කියවල බලන්නකො!

No comments:

Post a Comment