Saturday, March 14, 2015

මෙගාබයිට් 100න් මාසයක් ගොඩ දාන හැටි - දෙවැනි කොටස | 100MB Survival Tips & Tricks - Part 2

පළමු කොටස කියවලනෙ එන්න ඇත්තෙ? එහෙනම් අටුවා ටීකා නැතුව කතාවට බහිමු.

  • බ්‍රවුසරය හොඳට අඳුර ගන්න.
  • ජාලයට යද්දි නිතර ම භාවිතා වෙන්නෙ බ්‍රවුසරය නිසා, දත්ත ඉතුරු කිරීමෙ වැඩි බරක් වැටෙන්නෙත් බ්‍රවුසරයට ම තමයි. බ්‍රවුසරය හොඳට ආම්බාම් කරන්න පුළුවන් කෙනෙකුට දත්ත ඉතුරු කරනව කියන්නෙ සුළු දෙයක්. දැන් බහුල ව භාවිත‍ා වෙන Firefox, Chrome වගේ බොහොමයක් බ්‍රවුසර හොඳට පුද්ගලකරණය (personalization/customization) කරන්න පුළුවන් නිසා වැඩේ ලේසියි.

  • ඕනැ නැති වෙලාවට පින්තූර, JS, CSS, Flash වගේ අතිරේක දේවල් අක්‍රිය කරන්න.
  • ගොඩක් වෙලාවට අපි ජාලයට ගිහින් කරන්නෙ මොකක්හරි කියවන එක; නිතර පාහෙ මෙහෙම යන අඩවියක පින්තූර, JS (JavaScript) වගේ දේවල් අක්‍රිය කරල ලිඛිත අන්තර්ගතය විතරක් බලන්න පුරුදු වුණොත් සෑහෙන දත්ත ප්‍රමාණයක් ඉතුරු වෙනව. (හරි නම් විසිතුරුකරණය (styling) ඒ කියන්නෙ CSS අක්‍රිය කළාමත් දත්ත ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනි; හැබැයි Firefox බ්‍රවුසරය නම් ඒ වෙලාවටත් CSS ගොනු හොරෙන් බාගත කරන නිසා වැඩි වෙනසක් වෙන්නෙ නෑ.)

    ඒ වගේ ම Flash අක්‍රිය කළාම සමහර අඩවිවල මතුවෙන අනවශ්‍ය දැන්වීම් (ads) සහ වීඩියෝ වලක්වල දත්ත සෑහෙන්න ඉතුරු කරන්න පුළුවන්. (ගොඩක් බාගත (downloads) අඩවිවල මේ වගේ අනවශ්‍ය දැන්වීම් තොග පිටින් එන බව දන්නව ඇතිනෙ.) ගොඩක් වෙලාව‍ට YouTube වගේ තෝරගත්ත අඩවි කීපයකට විතරක් Flash සක්‍රිය කරන්න කියල බ්‍රවුසරයට කියල තියන්න පුළුවන්.

    මේ වැඩේට හොඳ උපාංග (add-ons) සෑහෙන ගණනක් ජාලයෙ තියෙනව. මම පාවිච්චි කරන QuickJava කියන උපාංගයෙන් අවශ්‍ය වෙලාවට මේ දේවල් අක්‍රිය, සක්‍රිය කරගන්න බොත්තම් ටිකක් බ්‍රවුසරයට ම දාගන්න පුළුවන්.

  • පිටු ඉබේ විවෘත වීම (pop-up windows) නවත්තන්න.
  • බාගත හා වාණිජමය අඩවි බොහොමයක මේ වගේ ඉබේ විවෘත වෙන පිටු, ලින්කුවලට ඈඳල තියෙනව. ඒ ලින්කු විවෘත කළාම ගොඩක් වෙලාවට (දත්ත ප්‍රමාණයෙන්) සෑහෙන ලොකු පිටු, බ්‍රවුසරයට යටින් බාගත වෙනව, කිසි ම තේරුමක් නැතුව. මේක වලක්වගන්න බ්‍රවුසරයෙ pop-up windows අක්‍රිය කරල තියන්න. එතකොට එහෙම පිටුවක් විවෘත වෙන්න ගියොත් බ්‍රවුසරය ඒක ඉබේ ම නවත්වනව; බලන්න ම ඕන නම් විවෘත කරගන්නත් අවස්ථාවක් දෙනව.

  • අනවශ්‍ය උපාංග (plugins, extensions) අක්‍රිය කරන්න.
  • ඔයා දන්නෙ නැතුව, බ්‍රවුසරයෙ සමහර උපාංග හොරෙන් දත්ත අදිනව. ගොඩක් බාගතවලදි බලෙන් වගේ ඇතුළත් වෙන සෙවුම් තීර (search toolbars) මේ අතරින් ප්‍රධානයි. සමහර වෙලාවට මේව ආරක්ෂාවටත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා (Firefox නම් Tools > Add-ons > Plugins හා Extensions පිටුවලටත්, Chrome නම් Chrome menu > Tools > Extensions පිටුවටත් ගිහින්) පාවිච්චි නොවෙන, නොදන්නා උපාංග අක්‍රිය කරල හෝ ඉවත් කරල දාන්න.

  • ස්වයංක්‍රිය යාවත්කාලීන පිරික්සුම් (automatic update checks) අක්‍රිය කරන්න.
  • හැම තිස්සෙ ම යාවත්කාලීන පිරික්සුම් සිද්ද වුණොත් දත්ත භාවිතයට සෑහෙන බලපෑමක් වෙයි. එ් නිසා බ්‍රවුසරයෙත්, ඒකට ඇතුළත් (කලින් කියපු) උපාංගවලත් වගේ ම පරිගණකයෙ අනික් මෘදුකාංගවලත් ස්වයංක්‍රිය යාවත්කාලීන සැකසුම් අක්‍රිය කරන්න. යාවත්කාලීන කරන්න ඕනි නම් ඒකට ඇති තරම් දත්ත ඉතිරි වෙලා තියෙන වෙලාවක් තෝර ගන්න.

  • දත්ත භාවිතය ගැන නිතර ඇහැ ගහගෙන ඉන්න.
  • Wi-Fi වලට එච්චර ප්‍රසිද්ධ නැති වුණාට, ජංගම දත්ත සබඳතාවලට (mobile data connections) නම් භාවිතා සීමා (usage limits) දාගන්න ගොඩක් ක්‍රම තියෙනව. Wi-Fi වලටත් ඒ වගේ ක්‍රමයක් හොයාගෙන, දවසක දත්ත භාවිතය අර මුලින් කියපු අගයට සීමා කළොත් ඉතිං 100MB පැකේජයෙන් මාසයක් අදින්න පුළුවන් බව ස්ථිරයිනෙ! එහෙම ක්‍රමයක් හම්බ වුණොත් ඒකත් මෙතන දාන්නම්කො.

එහෙනං ඉතිං, මේ ජිල්මාට් ටික පාවිච්චි කරල දැන් ඉඳන් ම 100MB ජීවිතයට පුහුණු වෙන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරු වෙයි, හැබැයි පුරුදු වුණාම තේරෙයි එ්කෙත් පොඩි ආතල් එකක් තියෙන බව.

සුබ අනාගතයක්... er... මෛත්‍රී වේවා!

No comments:

Post a Comment