Saturday, February 28, 2015

App දාන්න Play Store ගියපු කාලෙ ඉවරයි | M2M APK Sideloading

Android ජංගම පාවිච්චි කරන අයට නැතුව ම බැරි දෙයක්නෙ Play Store එක! මොන සුකුරුත්තම් app එකක් දාගන්න ඕනි වුණත් ඕනි කෙනෙක් මුලින් ම යන්නෙ එතෙන්ට. හැබැයි Play Store එකට වහල් නොවී තමන් කැමති කැමති විදිහට ජංගමයට apps දා ගන්න පුළුවන් බව දන්නෙ කීයෙන් කී දෙනා ද?

ඉස්සර Java ක්‍රමලේඛ (app) දුවපු ජංගම මතක ද? ඒවයෙ app තිබුණෙ jar කියන වර්ගයෙ ගොනු හැටියට. අලුත් app එකක් ද‍ා ගන්නකොට ඇත්තට ම සිද්ද වුණේ අදාල jar ගොනුව බාගත වෙලා ජංගමයට ඇතුළත් (install) වෙන එක.

ගූගල් අයියා Androidවල Play Store කියල මායාවක් දාගෙන කරන්නෙත් ඔය දේ ම තමයි. ඔයා Play Store එකට ගිහින් app එකක් දාද්දි පසුබිමේ වෙන්නෙ, අදාල apk ගොනුව ජංගමයට බාගත වෙලා ඇතුළත් වෙන එක මයි.

වාසියක් කියල කියන්න පුළුවන් එක ම දේ, නොදන්න තැනකින් ගන්නවට වඩා Play Store එකෙන් දා ගත්ත කියල තියෙන හිතේ විස්වාසෙ විතරයි. හැබැයි ඉතිං දැන් ඕනි කෙනෙකුට Play Store එකට තමන්ගෙ app එක දාගන්න පුළුවන්කම තියෙන එකේ, එහෙම විස්වාසයක් තියා ගත්ත කියල වැඩකුත් නෑනෙ!

එහෙනම්, data පුච්චගෙන වෙලාව නාස්ති කරගෙන Play Store එකෙන් app බානවට වඩා, තියෙන තැනකින් apk එක අරන් දාගන්න එක (කඩ්ඩෙන් කිව්වොත් sideloading කියන වැඩේ) ලේසියි නේද?

වැඩේ කියන්නෙ, Android ජංගමයකට දාන හැම app එකක් ම පිටපත් කරගන්න පුළුවන් විදිහට ඒ ජංගමය ඇතුළෙ ම තියෙනව; මේ ගොනුව අරන් වෙන ජංගමයකට දැම්මම ඒ ජංගමයෙත් අර app එක ස්ථාපනය වෙනව! වැඩේ ඒ තරමට ම සරලයි.

මම දැන් Android පාවිච්චිය පටන් අරන් අවුරුදු දෙකයි, ඒත් මේ වෙනකල් මම Play Store එකෙන් app පහකට වඩා බාල නෑ. අනික් ඔක්කොම එක්කො කෙළින් ම ජාලයෙන් apk විදිහට බාල දා ගත්ත ඒව, නැත්තං යාලුවන්ගෙ ජංගමවලින් පිටපත් කරගත්ත ඒව. තවම බඩු නියමෙට වැඩ.

App කෙළින් ම බාගත කරනව නම් apkmania.com, apkfiles.com වගේ ප්‍රසිද්ධ අඩවි ගණනාවක් ම තියෙනව. හැබැයි මම කියන්න යන්නෙ ජංගමයෙන් ජංගමයට app ගන්න හැටි.

මේකට එක්කො app එක තියෙන කෙනාගෙ ජංගමය රූට් (root) කරල තියෙන්න ඕනි, නැත්තං ඒකට app සුරක්ෂිත (backup) කරන්න පුළුවන් app එකක් දාල තියෙන්න ඕනි. Titanium Backup කියන්නෙ ගොඩක් අය පාවිච්චි කරන මේ විදිහෙ app එකක්. කොහොම කළත් ඒ ජංගමයෙ ගොනු පිරික්සුම් (file browsing) app එකක් හරි,ජංගමය පරිගණකයට සම්බන්ධ කරල ගොනු පිටපත් කිරීමේ හැකියාව (සාමාන්‍යයෙන් USB Storage හෝ Media Device හැටියට) හරි තියෙන්න ඕනි.

මම පාවිච්චි කරන්නෙ සුරක්ෂිත කිරීමයි ගොනු පිරික්සුමයි දෙක ම කරන්න පුළුවන් ES File Explorer කියන app එක. ගොඩක් බහුකාර්ය ගොනු පිරික්සුම් app වල මේ අංග දෙක ම තියෙනව.

Root තියෙනව නම් කෙළින් ම ගොනු පිරික්සුමෙන් /data/app කියන තැනට ගියාම ජංගමයෙ අභ්‍යන්තර මතකයට (internal memory) දාල තියෙන apps ගන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතියත් එක්ක ආපු එකක් ගන්න නම් /system/app කියන තැනට යන්න වේවි. (/system/app එකෙන් ගන්න සමහර app, වෙන ජංගමවල වැඩ නොකරන්න ඉඩ තියෙනව; විශේෂයෙන් ම මෙහෙයුම් පද්ධතියට ම අදාල SystemUI, Engineering Model වගේ ඒව)

Root නැති අයට පුළුවන් කලින් කියපු විදිහෙ සුරක්ෂණ app එකක් යොදාගෙන, අවශ්‍ය apps දන්න තැනකට (චිපයට වගේ) සුරක්ෂණය (backup) කරගන්න. ඊට පස්සෙ ගොනු පිරික්සුම් app එක යොදාගෙන, සුරක්ෂණ app එකට අනුව සුරක්ෂණය කරපු තැනට ගිහින් ඒ ටික ගන්න පුළුවන්. නැත්තං පරිගණකයට ජංගමය සම්බන්ධ කරල මතක ගබඩාව පරීක්ෂා කරල බලල පිටපත් කරගන්නත් පුළුවන්.

කෙළින් ම චිපයක (SD/MicroSD card) හරි, සමහර ජංගමවල තියෙනව වගේ ඇතුළෙ ම තියෙන මතකයෙ (built-in storage) හරි දාල තියෙන apps ගන්න නම් අදාල මතක ගබඩාවෙ apps කියන තැනට යන්න ඕනි.

මේ කොයි විදිහට ගත්තත්, අන්තිමට ඔයා ළඟ apk දිගුව (extension) තියෙන ගොනු ටිකක් තියෙන්න ඕනි; තියෙනවනම් වැඩේ අමාරු ටික ඉවරයි.

දැන් මේ apk, අලුත් ජංගමයකට ඇතුළු කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් ප්‍රතිග්‍රාහක (target) ජංගමයෙ සැකසුමක් (setting), බාහිර ක්‍රමවලින් app ඇතුළත් කරන්න පුළුවන් විදිහට සකස් කරන්න ඕනි.

JellyBean (Android 4.2.2) වල නම් Settings > Security > Unknown sources (Allow installation of apps from unknown sources) කියන අංගය සක්‍රිය කරන්න ඕනි. මේක අක්‍රිය ව තියෙන තාක් ඔයාට අලුත් app ඇතුළු කරන්න දෙන්නෙ Play Store හරහා විතරයි. (අනික් මෙහෙයුම් පද්ධතිවලත් ගොඩක් දුරට මීට සමාන තැනක තමයි මේ ආරක්ෂණ සැකසුම තියෙන්නෙ.)

දැන් apk ගොනුව ප්‍රතිග්‍රාහක ජංගමයෙ කැමති තැනකට දාගෙන, ගොනු පිරික්සුමේ ඉඳන් ඒක තෝරන්න (select) තමයි තියෙන්නෙ. සාමාන්‍යයෙන් Android පද්ධතියක් ඇතුළෙ apk ගොනුවක් විවෘත කරද්දි ජංගමය ඒක ඉබේ ම අඳුරගෙන ඒක ඇතුළත් කර ගන්න (installation) පියවරට යනව. එතන ඉඳන් සාමාන්‍ය app එකක් ඇතුළත් කිරීමේ පියවර ටික කරගෙන ගියාම හරි.

සමහර ක්‍රීඩා වගේ බරපතල app, ඇතුළත් කළාට පස්සෙ තමන් ම වැඩිදුර දත්ත බාගෙන පරිසරය හදා ගන්නව. අපි කරපු වැඩෙන් මේ දත්ත ගන්න බෑ; ඒ නිසා එහෙම app එකක් ගන්නව නම් ජාලයෙන් පොඩි පහේ බාගතයක් කරන්නත් ලෑස්ති වෙලා ඉන්න. (ඒ දත්තත් ගන්න ක්‍රමයක් ඇති, ඒකත් හොයාගත්තම කියන්නම්කො!)

Thursday, February 26, 2015

User Agent - ජංගමයෙන් යන තාලෙට යන්තරයෙන් Net යමු | Mobile Browser Experience on Computer!

ජංගම දුරකතනයක බ්‍රව්සරයෙන් ජාලයට යන එකයි, සාමාන්‍ය පරිගණකයකින් (desktop හෝ laptop) ජාලයට යන එකයි වෙනස් බව ඔයාල දන්නවනෙ. Facebook, Twitter, Gmail, Wikipedia වගේ ගොඩක් වෙබ් අඩවි හදල තියෙන්නෙ ජංගම හිතකාමී (mobile friendly) විදිහට. තව සමහර අඩවි තියෙනවා, පිටුවේ (ජංගම තිරයේ) ප්‍රමාණයේ හැටියට පිටුවේ හැඩතල (formatting) වෙනස් වෙන්න (responsive).

ඉතිං සමහර වෙලාවට ඔයාලට ඕනි වෙන්න පුළුවන්, මේ වගේ ජංගම දසුනක් (mobile view) සාමාන්‍ය පරිගණකයකින් බලා ගන්න:

  • Facebook වගේ සමහර අඩවිවල ජංගම දසුන, සාමාන්‍ය අඩවියට වඩා ලස්සනයි, පැහැදිලියි (clean). උදා.: Facebook Mobile අඩවියේ වෙළෙඳ දැන්වීම් (ads) නෑ.
  • ගොඩක් ජංගම අඩවි, දත්ත භාවිතය (data usage) අඩු වෙන විදියටයි හදල තියෙන්නෙ. ඒ වගේම ඒව ඉක්මනට දර්ශනය (load) වෙනවා. අනික, අඩවියේ කොටස් වෙන වෙනම අවශ්‍ය වෙලාවට දර්ශනය වෙන්නෙ (උදා.: LinkedIn)

සාමාන්‍ය පරිගණක, ජංගම උපකරණ කියන වර්ග දෙකෙන් ම ජාලය පාවිච්චි කරන අය දන්නව අැති, Facebook, Gmail වගේ වෙබ් අඩවි, ඉබේ ම ඔයා දැන් පාවිච්චි කරන උපකරණය මොකක් ද කියල තේ‍රුම් අරන් එ්කට ගැලපෙන දසුන පෙන්වන බව. උදාහරණයක් ගත්තොත්, ඔයා ජංගමයකින් https://www.facebook.com අඩවියට ගියොත් ඔයා ඉබේ ම https://m.facebook.com කියන ජංගම අඩවියට යැවෙනවා. Gmail වුණත් එහෙමයි.

හැබෑට ම මේක වෙන්නෙ කොහොම ද?

ඔයා මොකක් හරි උපකරණයක තියෙන බ්‍රවුසරයකින් ජාලයට යද්දි, වෙබ් පිටුවකට යන හැම පණිවිඩයක් එක්ක ම User-Agent කියල ශීර්ෂ දත්තයක් (HTTP header) යනවා. මේකෙ තියෙන්නෙ ඔයා දැන් පාවිච්චි කරන උපකරණයේ හා බ්‍රවුසරයේ විස්තරයක්. උදාහරණයක් ගත්තොත්, මම Ubuntu Linux මෙහෙයුම් පද්ධතියෙ පාවිච්චි කරන Mozilla Firefox බ්‍රවුසරයෙන් යන්නෙ මෙන්න මේ විදිහෙ User-Agent ශීර්ෂයක්:

Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:28.0) Gecko/20100101 Firefox/28.0

බ්‍රවුසරය කරන මේ වැඩේ අපට පාලනය කරන්න පුළුවන් නම්, අපිට සාමාන්‍ය පරිගණක බ්‍රවුසරයකින් ලේසියෙන් ම ජංගම දසුනක් ගන්න පුළුවන්.

වැඩේ සෑහෙන සරලයි:

(දැනට මම මේක කරල බලල තියෙන්නෙ Firefoxවල විතරයි. අනෙක් බ්‍රවුසරවලත් කරන්න පුළුවන් වෙන්න ඕනි; කරල බැලුවම මේ ලිපිය යාවත්කාලීන කරන්නම්.)

  1. Firefox Menu (තැඹිලි පාට බොත්තම) ඔබලා Add-ons වලට යන්න (Tools මෙනුවෙන් යන්නත් පුළුවන්, නැත්තං අලුත් පිටුවක් අරන් about:addons කියල Address bar එකේ ගහල යන්නත් පුළුවන්)
  2. දැන් UAControl කියන Add-on එක හොයල (search) දා ගන්න (install). (බ්‍රවුසරය නැවත අරඹන්න (restart) කීවොත් එහෙමත් කරන්න.)
  3. දැන් Tools මෙනුවට ගියාම UAControl Options කියල මෙනු අංගයක් අැවිත් අැති; එතනට යන්න.
  4. දැන් තියෙන්නෙ, ඔයා කැමති User-Agent ශීර්ෂයක් මේකෙ Default for sites not listed: කියන තැනට දෙන්නයි. ඇන්ඩ්‍රොයිඩ්වලට ගැලපෙන User-Agent තොගයක් මෙතන තියෙනවා; ඔයාට ඕනි වෙන ජංගම මාදිලියක් නම් ගූගල් සෙවුමක් (iPhone නම් user agent string iphone වගේ) දාල බලන්න, ටක් ගාල හම්බ වෙයි.
  5. එහෙම නැතුව ඔයාට තෝර ගත්ත වෙබ් අඩවි කීපයකට විතරක් ජංගම දසුන ගන්න ඕනි නම්, උඩින් තියන ලයිස්තුවට ඒ අඩවි ටික දාන්න ඕනි. ඒකට, Add Site බොත්තම ඔබල, එන සංවාද කොටුවෙ Site: කියන තැනට අඩවියෙ නමයි, Action: කියන තැනින් Custom: තෝරල ඉදිරියෙන් තියෙන කොටුවට අදාල User-Agent එකයි දෙන්න ඕනි.
  6. මේ Default සහ Custom (ලයිස්තුගත) සැකසුම් යොදාගෙන ඔයාට කැමති විදිහට එක එක අඩවිවල දර්ශනය තීරණය කරගන්න පුළුවන්. (උදා. අඩවි කීපයකට හැර අනික් ඔක්කොට ම ජංගම දසුන ගන්න නම් 4 පියවරයි, 5 පියවරේ Custom වෙනුවට Normal - send the actual UA කියන අංගයයි එක්ක දාල බලන්න.)
  7. වැඩේ හරියට හදා ගත්තම OK බොත්තම ඔබන්න.

දැන් වැඩේ හරි!

ඔයාට සමහර වෙලාවට විතරක් මේ වෙස් මාරුව කරන්න ඕනි නම්, UAControl උපාංගය අනවශ්‍ය වෙලාවට ලේසියෙන් ම අක්‍රිය කරල තියන්න පුළුවන්. ඒකට, Firefox වල උපාංග තීරය (toolbar) දකුණු ක්ලික් (right click) කරල, එන මෙනුවෙන් Customize තෝරල, ලැබෙන ලයිස්තුවෙන් UAControl කියන පොඩි බොත්තම ඇදල අරන් toolbar එකට දා ගන්න. දැන් කැමති වෙලාවක මේ බොත්තම ඔබල Enable/Disable UAControl ක්ලික් කරල UAControl සක්‍රිය/අක්‍රිය කරගන්න පුළුවන්. අක්‍රිය වෙලාවට බොත්තම අළු පාට වෙලා තියෙන නිසා තත්ත්වය (status) ලේසියෙන් අඳුර ගන්නත් පුළුවන්.

Saturday, February 7, 2015

BitTorrent මැජික් - කෙළවුණ files ගොඩ දැමීම

ගිගාබයිට් ගාණක තඩි ගොනුවක් (file) බාගත (download) කළාට පස්සෙ ඒක හානි (corrupt) වෙලා තිබ්බොත් කොහොම ද? නිතර පාහේ බාගත කිරීම් කරන අයට නම් මේක එච්චර අමුතු දෙයක් නෙවෙයි. හැබැයි අපි ඉඳල ඉඳල පෙරුම් පුරල බාගත්ත file එකකට කෙළ වුණොත් අවුල්නෙ නේද?

හැබැයි නිතර ටොරන්ට් (torrents) විදිහට ගොනු බාගත කරන අයට මේ වගේ දේ වෙන්නෙ බොහොම කලාතුරකින්. ඒකට හේතුව තමයි BitTorrent ප්‍ර‍ොටොකෝලය වැඩ කරන අපූරු ක්‍රමය.

BitTorrent වලදි, ඔයා බාන්නෙ තනි ගොනුවක් උණත්, ඇත්තට ම වෙන්නෙ ඒ ගොනුව පොඩි පොඩි කොටස් විදිහට වෙන වෙන ම බෑවිලා අන්තිමට ඔක්කොම එකතු වෙන එක. හරියට කුටීර ගණනාවක් තියෙන මී වදයක් වගේ. මේ හැම කොටස ම හරියට බෑවුණා ද, නැත්තම් දෝෂ තියෙනව ද කියල වෙන වෙන ම හොයා බැලෙනව. ඒ නිසා හැම කොටස ම හරියට බෑවුණාට පස්සෙ හැදෙන file එක හරියට ම හරි, දෝෂ නැති එකක්.

ඍජු බාගතයක දි (direct download) සාමාන්‍යයෙන් වෙන්නෙ ගොනුව මුල ඉඳල අගට බාගත වෙන එක. IDM වගේ වැඩසටහන් ගොනුවෙ කෑලි බෙදාගෙන සමාන්තර ව (parallely) ඉක්මනට බාගත කරන එක ඇත්ත, නමුත් එක එක කෑල්ලෙ නිවැරදිතාව වෙන වෙන ම හොයන්න විදිහක් නෑ. ඒ නිසා ගොනුවට කෙළ වුණොත් ආයෙ මුල ඉඳන් බාගත කරන්න ම වෙනව, මුළු ගොනුවෙ ම නිවැරදිතාව ස්ථිර කරගන්න.

හැබැයි පොඩි ජිල්මාට් එකක් දාල, BitTorrent වල කෙරෙන වැඩේ සාමාන්‍ය ගොනුවකටත් කරන්න පුළුවන්. එහෙම කළොත් කෙළවුණ ගොනුවෙ කෙළවුණ කොටස විතරක් ආපහු බාගත කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන්. දත්තත් ඉතුරුයි, කාලෙත් ඉතුරුයි.

ගොනුව ලැබුණෙ කොහෙන් ද කියන එක වැදගත් නෑ; කෙළින් ම බාගත්ත, ටොරන්ට් විදිහට බාගත්ත, යාලුවෙකුගෙන් ඉල්ලගත්ත, ඕනැ ම ගොනුවක් ඔට්ටුයි!

වැඩේ කරන්නෙ මෙහෙමයි:

  1. කෙළවුණ ගොනුවට ගැලපෙන ටොරන්ටුව හොයා ගන්න.
  2. මේක ටිකක් පරිස්සමින් කරන්න ඕනි. චිත්‍රපට වගේ නම් එක ම චිත්‍රපටයේ ගුණාත්මක ව වෙනස් (උදා. විභේදනය (resolution), ප්‍රභවය (source; DVDRip, BRRip වගේ) ප්‍රභේද (versions) සෑහෙන්න තියෙනවා. වෙන ජාතිවල ගොනු උණත් එහෙමයි. හොඳ ම වැඩේ, ඔයා ළඟ දැනට තියෙන ගොනුවේ නම ම torrent කියන වචනයත් එක්ක සෙවුම් යන්ත්‍රයකට (search engine) දෙන එක. ගොනුව

    1_the_movie_2015_brrip_1080p.mkv

    නම් ගූගල් සෙවුමට

    torrent "1_the_movie_2015_brrip_1080p.mkv"

    වගේ ප්‍රශ්නයක් (query) දැම්මොත් ගොඩක් දුරට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ("" එක්ක හෙවුවම හරි ගියෙ නැත්නම් ඒව අයින් කරල බලන්න.)

    වැඩේ හරියට ම හරි ද කියල දැන ගන්න, ටොරන්ටුව ඇතුළෙ තියෙන ගොනුවෙ ඇත්ත නමයි ඒකෙ විශාලත්වයයි (size) ඔයා ළඟ තියෙන එකට ගැලපෙන්න ඕනි. (විශාලත්වය සමහර විට පොඩ්ඩක් වෙනස් වේවි, හැබැයි මුල් ගොනුව ටොරන්ටුවකින් ම බාපු එකක් නම් විශාලත්වය වෙනස් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.) ගොඩක් ටොරන්ටු අඩවි, ටොරන්ටුවට අදාල පිටුවේ ඒක ඇතුළෙ තියෙන ගොනුවල නම් හා විශාලත්වයන් පෙන්නනවා, ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ.

    කොටින් ම කිවුවොත්, ඔයා ළඟ තියෙන ගොනුවට හරියට ම ගැලපෙන ටොරන්ටුව කොහොම හරි හොයා ගන්න වෙනව; නැත්නම් වැඩේ හරි යන්නෙ නෑ.

  3. දැන් මේ ටොරන්ට් ගොනුව (.torrent දිගුව (extension) තියෙන) බාගත කරගෙන ඔයාගෙ ටොරන්ටු ක්‍රමලේඛයට (torrent client) දා ගන්න.
  4. ගොඩක් වෙලාවට .torrent ගොනුව විවෘත කළාම මේක ඉබේ ම සිද්ධ වෙනව.

  5. දැන් ටොරන්ටුවේ ඇතුළෙ තියෙන ගොනු ටික බාගත වෙන්න නියමිත තැන හොයා ගන්න.
  6. මේක ටොරන්ටු ක්‍රමලේඛයේ සැකසුම්වල (settings) ඇති. (සාමාන්‍යයෙන් ඔයාගෙ බාගත ගොනු (Downloads) ෆෝල්ඩරය (folder) ඇතුළෙ හරි ඒ ඇතුළෙ ටොරන්ටුවෙ නමින් හැදෙන අලුත් ෆෝල්ඩරයක් ඇතුළෙ හරි තමයි වැඩේ සිද්ද වෙන්නෙ.)

  7. දැන් එතන හැදිල තියෙන දත්ත ගොනුව වෙනුවට, ඔයා ළඟ තියෙන කෙළවුණ ගොනුව එතනට දාන්න.
  8. මේ ගොනු දෙක ම එක නමින් තියෙන නිසා කළින් තියෙන ගොනුව ප්‍රතිස්ථාපනය (replace) වේවි. සමහර විට ටොරන්ටුවෙන් හැදෙන ගොනුවෙ අගට .part වගේ කොටසක් එකතු වෙලා තියේවි, එතකොට අපේ ගොනුවෙ නමත් ඒ විදිහට වෙනස් වෙන්න ඕනි.

  9. දැන් ටොරන්ටු ක්‍රමලේඛයට ගිහින් බලන්න, ටොරන්ටුවේ බාගත ප්‍රතිශතය (download percentage) වැඩි වෙලා ද කියල.
  10. වැඩේ හරි නම් ප්‍රතිශතය සාමාන්‍යයෙන් 99% හෝ ඊට වැඩි ගාණකට ගිහින් තියෙන්න ඕනි. මේ ගාන ගොනුවේ කෙළවීමේ තත්ත්වය මත වෙනස් වෙයි, හැබැයි ඇත්තට ම ජාලයෙන් මුකුත් බෑවෙන්න කලින් ම ප්‍රතිශතය 0%ට වැඩි ගාණකට යන්න ඕනි; නැත්තම් වැඩේ ගොඩ දාන්න බෑ.

    එහෙම වෙලා නැත්තම් බාගතය නවතලා (pause/stop) නැවත අරඹල බලන්න.එහෙමත් නැත්තම් ක්‍රමලේඛය වහල (close) අායෙ විවෘත කරල බලන්න. (සමහර ක්‍රමලේඛ වැහුවට කාර්ය තීරයෙ (task bar) හැංගිලා ඉන්නව; ඒ වගේ වෙලාවට එතැනටත් ගිහින් ඒක සම්පූර්ණයෙන් වහල දාන්න.)

  11. ප්‍රතිශතය හරිගියාම, ජාලයට සම්බන්ධ වෙලා ටොරන්ටුවෙ ඉතිරි ටික බෑවෙන්න දෙන්න.
  12. වැඩි ම වුණොත් මෙගාබිටු (megabytes) කීපයකින් වැඩේ සම්පූර්ණ වෙයි. ගොඩක් වෙලාවට බෑ යුතු දත්ත ප්‍රමාණයත් ක්‍රමලේඛයෙන් ම පෙන්නනව.

දැන් ඉතින් වැඩේ හරි!

මේ ක්‍රමයෙන් මම මේ ළඟඳි, යාලුවෙකුගෙන් කාලෙකට කලින් ඉල්ලගෙන තිබ්බ 2.5 GB ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධති තැටි පිටපතක් (disk image) ගොඩ දා ගත්ත. වැඩේට ගියෙ දත්ත 1.92 MB විතරයි!

මෙතන ඇත්තට ම සිද්ද උණේ, අපි අපි ළඟ තිබුණ දත්ත ටික අතින් දාල ටොරන්ටු ක්‍රමලේඛය රවට්ටපු එකයි. පොර හිතුවෙ ගොනුව ඇත්තට ම ජාලයෙන් බෑවිලා කියල; ඉතින් පොර අර මම කියපු විදිහට ගොනුවෙ කෑලි කෑලි වෙන වෙන ම පරීක්ෂා කරල, තමන් ම බෑවෙ නැති සහ ඇත්ත ගොනුවත් එක්ක නොගැලපෙන (වෙන විදිහකට කීවොත්, කෙළ වෙලා තියෙන) කෑලි ටික විතරක් අලුතෙන් බාගත කළා. එතකොට අවසාන ප්‍රතිඵලය වෙන්නෙ අපි ළඟ කලින් ඉඳන් තිබුණ හොඳ ටිකෙයි, නරක නිසා අලුතින් බෑවුණ හොඳ ටිකෙයි එකතුව; ඒ කියන්නෙ සමස්තය ගත්තම හොඳ ගොනුව.

සිද්ද වෙන දේ හොඳට ම පැහැදිලි කර ගන්න නම් මෙතනට ගිහින් කියවල බලන්න. (කඩ්ඩෙන් තියෙන්නෙ, හැබැයි පට්ටයි.)